රයිගම් කෝරලේ ඉංගිරියට නුදුරු
ගම හඳපාන්ගොඩ මිනිසුන් නැත කුරිරු
තේ පොල් රබර් ඇති පරිසරයකි සොඳුරු
ජීවත් වෙන්නෙ යල මහ වැඩ කර කුඹුරු
නැතිවට මෙගමෙ නැත සුවිසල් මැඳුරු තනා
එකමුතු කමින් ජීවත් වෙති සියළු දෙනා
නැත ඉනි වැටට පොලු මුගුරු වනා
එනිසා මෙගම ගුණ දහමින් දියුණු උනා
ආරාමෙ සමිඳු බුදු බණ වදාරණ
ගෙන් ගෙට වඩී හැම දිනෙකම උදෑසන
එහි ඇති ලඳුන් නොයිඳුල් බත උයාගෙන
පිලිගන්නවති සඟ මොක් සුව පතාගෙන
සිටුවා බටු මිරිස් මෑ තම ගෙවත්තේ
ආහාරයට ගනි කවුරුත් කැමැත්තේ
ගව කිරි දොවා බොති පිටි කිරි නොගත්තේ
ලෙඩ වැඩි නිසයි ඇති වන පපු කැනැත්තේ